Tower Hall Theatre Foundation

Tamil (Sri Lanka)English (United Kingdom)

x ඉවත්වන්න
ඔබ මෙතනයි:  මුල් පිටුව අප ගැන ඉතිහාසය

ඉතිහාසය

1880 වර්ෂය වන විට කොළඹ නගරය පුරා සින්ක් තහඩු සෙවිලි කරන ලද තාවකාලික මඩු කුඩාරම් රැසක් පැන තැණුනේ නාට්‍ය වේදිකා ගත කිරිමේ අරමුණ සඳහාය. එකල කොළඹ වැසියන්ට විනෝදාස්වාදය සඳහා තිබුණු එකම ශ්‍රව්‍ය -දෘෂ්‍ය මාධ්‍යය නාට්‍ය පමණක් විය.

මෙම තාවකාලික මඩු, පැවිලියන් තියටර්, පබ්ලික් හෝල්, සරස්වති හෝල් ආදි වශයෙන් නම් කර තිබූ අතර, ඒවා යොදාගනු ලැබූවේ තාවකාලික රඟහල් වශයෙනි. ශ්‍රී ලංකාවේ ඉදිවූ ප්‍රථම ස්ථාවර රංග ශාලාව ටවර් රඟහලයි.

එය ඉදිකරන ලද්දේ මරදානේ විසූ ව්‍යාපාරිකයකු වූ ජි.ඩි.හෙන්ද්‍රික් සෙනවිරත්න මහතා විසිනි. අශ්ව ඉස්තාලයකට වෙන් කරන ලද ඉඩමක ප්‍රේක්ෂකයන් 800 කට ඉඩ කඩ සහිත ශාලාවක්, බැල්කිනියක් සහ නේපථ්‍යාගාරයක් සහිතව රංග ශාලාවක් ඉදි කිරිමට ඔහු තීරණය කළේය. ප්‍රධාන ශාලාවට යාබද ඔරලෝසු කණුව සැලසුම් කරන ලද්දේ ලන්ඩනයේ ඔරලෝසු කුළුණ නිරූපණය කිරිමටය. මෙය ටවර් රඟහල යන්නෙන් නම් කරන ලද්දේ ඒ සඳහාය.

ටවර් රඟහල 1911 දෙසැම්බර් 06 වන දින උත්සවාකාරයෙන් වීවෘත කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ජාතික වීරයෙකු වශයෙන් බුහුමන් ලද අනගාරික ධර්මපාල තුමා විසිනි. ඊට පසු දින ලංකා ආණ්ඩුකාර සර් හෙන්රි මැලකම් තුමාගේ ප්‍රධානත්වයෙන් පණ්ඩුකාභය නැමති නූර්ති නාට්‍ය වේදිකා ගත කරන ලදී. ‍"පණ්ඩුකාභය" නාට්‍යයේ පිටපත් රචක හා අධ්‍යක්ෂවරයා වූයේ හෙන්ද්‍රික් සෙනවිරත්න මහතාගේ දියණිය හා විවාහ වී සිටි චාල්ස් ඩයස් නම් නීතිඥවරයායි. මෙම නාට්‍යයට අවශ්‍ය සියළුම ඇදුම් පැළදුම් බොම්බායේ (මුම්බායි) සිට ආනයනය කරන ලදී.

ආරම්භයේදි ටවර් රඟහල වෙන් කර තිබුණේ චාල්ස් ඩයස් විසින් ලියා අධ්‍යක්ෂණය කරන ලද නාට්‍ය සඳහා ය. එහෙත් පසුව නීතිඥ ජෝන් ද සිල්වාගේ නාට්‍ය ප්‍රදර්ශනය කිරිමද අරඹන ලදී. මෙම යුගය හඳුන්වා දෙන ලද්දේ ටවර් යුගය නමිනි. එකල නිෂ්පාදනය කරන ලද නාට්‍ය නූර්ති හෙවත් නව නාට්‍ය නමින් හඳුන්වන ලද අතර ශ්‍රී ලාංකීය නාට්‍ය ඉතිහාසයේ එම ප්‍රභේදයට විශේෂ තැනක් හිමි විය.

හෙන්ද්‍රක් සෙනවිරත්නගේ මරණයෙන් පසු ටවර් රඟහල අර්බුදයකට ගොදුරු වූයේ ඔහුගේ දරුවන් අතර දේපල පිළිබඳ නීතිමය අර්බුදයක් පැණ නැගුණු බැවිනි.

1930 එෆ්.ඩි.ෆැන්ක් නැමැත්තෙක් විසින් මසකට රු.2000 බැගින් ටවර් රඟහල් භූමිය කුලියට ගන්නා ලද අතර එහි චිත්‍රපට තිරගත කිරිම ඇරඹුණු පසු ටවර් හෝල් ශිල්පීන්ට සිය වෘත්තිය අහිමි වූ නිසා ඔවුහු වෘත්තිය සමිති නායකයකු වූ ඒ.ඊ. ගුණසිංහ මහතාට අයාචනා කළේය.

එතුමා ෆ්‍රැන්ක් මහතා සමග කලාකරුවන්ගේ ඉරණම ගැන සාකච්ඡා කරන ලදී. එහි ප්‍රතිඵලය වශයෙන් සෑම බ්‍රහස්පතින්දා දිනකම සිංහල නාට්‍යයක් ටවර් රඟහලේදි වේදිකා ගත කළ යුතුය යන මතයට එළබෙන ලදි.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව 1947 අප්‍රේල් මාසයේදි සිලෝන් තියටර්ස් සාමාගම ටවර් රඟහල රුපියල් 125,000.00 මිළදි ගත්තේය. ඉන් පසු සිලෝන් තියටර්ස් සාමාගමේ අධ්‍යක්ෂ වූ එම්.සෙල්ලමුත්තු මහතා සහ සීමා සහිත සමාගමේ අයිතිකරු වූ කේ. ගුණරත්නම් මහතා සමඟ හවුල් වී ටවර් හෝල් රඟහල සිනමා ශාලාවක් වශයෙන් පවත්වාගෙන යාම සීමා සහිත ටවර් ටෝකීස්ටි නැමති සාමාගම පිහිටුවා ගන්නා ලදි.

අනතුරුව ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අග්‍රාමාත්‍යධුරය දැරු කාලයේදි ටවර් රඟහල ජනසතු කළ යුතුය යන යෝජනාව පිලිගනු ලැබ මේ අරමුණ සදහා ලියකියවිලි පවා සකස් කරන ලදී.කෙසේ වූවද මේ යෝජනාව ක්‍රියාත්මක වූයේ දිවංගත ගරු ආර්.ප්‍රේමදාස මැතිතුමා අගමැති ධුරයට පත්වී 1978 මාර්තු 15 වන දින රජය විසින් ටවර් රඟහල පවරා ගැනීමෙන් පසුවය.

මේ පවරා ගැනීමෙන් පසුව ගරු.ආර්.ප්‍රේමදාස අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වය යටතේ ටවර් හෝල් පදනම යන පරිපාලන ඒකකයක් පිහිටුවන ලද්දේ නුර්ති සහ ටවර් හෝල් රඟහල පුනරුත්ථාපනය කිරිමේ අරමුණෙනි. ටවර් හෝල් රඟහල පදනම මගින් නීතීඥ ජෝන් ද සිල්වා ශුරින් විසින් ලියා අධ්‍යක්ෂණය කල නාට්‍යයක් වූ සිරිසඟබෝ නිෂ්පාදනය කිරිමේ වගකීම කීර්තිමත් නළුවකු සහ නාට්‍යවේදියෙකු හෙන්රි ජයසේන මහතා වෙත භාර දෙන ලදි.‍

ටවර් හෝල් රඟහල පදනම නවීකරණය කොට පවරා ගැනීමෙන් පසු එහි වේදිකා ගත කරන ලද ප්‍රථම නාට්‍යය "සිරිසඟබෝ" ය. එම නිසා දශක කිහිපයකට පසුව සිංහල නාට්‍ය උපත ලද ස්ථානයේදි "දන්නෝ බුදුන්ගේ" යන සනාතන ගීතය යළිත් දෙන්නට විය. මෙම සාම්ප්‍රදායික නූර්ති ගීතය අලංකාර කරමින් එහි රක්තාක්ෂි චරිතය රඟපානු ලැබූයේ දේශිය නර්තන කලාවේ පුරෝගාමියකු වූ චිත්‍රසේන විසිනි. "සිරිසඟබෝ" පසු කලක මහජන චීනයේදි පවා ප්‍රදර්ශනය කරන ලදී.

මේ අතර ඔක්තෝම්බර් 10 දින අංක 01 දරණ ටවර් හෝල් රඟහල පදනම පනත ක්‍රියාත්මක වූ අතර, අග්‍රාමාත්‍ය ආර්.ප්‍රේමදාස මැතිතුමාගේ සභාපතීත්වය යටතේ පිහිටුවන ලද ටවර් හෝල් රඟහල පදනමේ ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල් වූයේ ගරු අගමැතිතුමාට දක්ෂ ලෙස සහාය දුන් ඒ.ජේ.රණසිංහ මහතාය. ටවර් හෝල් රඟහල පදනම විසින් ඉදිරිපත් කරන ලද දෙවන නූර්තිය වූයේ නීතිඥ ජෝන්ද සිල්වා ශුරීන්ගේ සුප්‍රකට ඓතිහාසික නාට්‍යයක් වූ "ශ්‍රි වික්‍රම" ය. මෙම නාට්‍ය නැවත නිෂ්පාදනය කිරිමේ දුෂ්කර කාර්යය ප්‍රමුඛ පෙළේ නාට්‍ය රචකයෙකු හා අධ්‍යක්ෂවරයෙක් වූ ප්‍රේමරංජිත් තිලකරත්න මහතාට පවරන ලද අතර එම නාට්‍ය මගින් සිංහල රාජ්‍යයේ ඛේදචනක අවසානය මුර්තිමත් කළේ ය.

ප්‍රේමරංජිත් තිලකරත්න මහතා මෙම නූර්තිය, වේදිකා ආලෝකය සමූහ චලන සහ සමූහ ගායනා නැමති නවීන රංග ශිල්ප ක්‍රම යොදවා අනුවාදනයක් ලෙස සකස් කළේය. "ශ්‍රි වික්‍රම" නාට්‍ය යේ මංගල දර්ශනය 1979 මාර්තු 02 වනදින පවත්වන ලද්දේ එකල ජනාධිපති ධුරය දැරූ දිවංගත ගරු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සහ තනාපතිවරුන් ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් පිරිසකගේ සහභාගිත්වයෙනි. එය සිංහලයේ අන්තිම රජුගේ යටත් වීමේ 164 වැනි සංවත්සරය සනිටුහන් කළේ ය.

"සමුද්‍රදේවි" වේදිකා නාට්‍ය ටවර් හෝල් රඟහල පදනම විසින් නිපදවන ලද තුන්වැනි නාට්‍ය වේ. 1940 දශකයේ ප්‍රකට රචකයෙකු වූ ඩි.බි.සෙනවිරත්න මහතා විසින් ලියන ලද මේ නාට්‍යය නිෂ්පාදනය කිරිම භාරදෙන ලද්දේ ටවර් හෝල් කලාකරුවෙකු වූ ජි.එච්.ස්ටැන්ලි පෙරේරා මහතා (ස්ටැන්ලි මාස්ටර්) වෙතය. විදිය බණ්ඩාර නම් කෝට්ටේ යුගයේ වීර කුමරෙකු සහ සමුද්‍රදේවි නම් අහිංසක සිංහල කුමරියක අතර ඇති වූ ඛේදජනක ප්‍රේම වෘත්තාන්තය මේ නාට්‍යයෙන් පෙන් විය. කෙසේ වූවද "සමුද්‍රදේවි" වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නූර්තියක් නොවේ. එහි හැඩහුරුකම සමානවන්නේ ටීටර් නාට්‍යය ප්‍රභේදයන්ටය. "ගෝවේ ගැණු පරාදයි" යන ජනප්‍රිය රිද්මානූකූල ගීතය මේ නාට්‍යයේ අඩංගු විය. එහි පෘතුශ්‍රිසි ගායනයට නෑකම් දැක්වූවකි.

මේ නූර්ති නාට්‍ය තුනේම සංගීතය මෙහෙයවන ලද්දේ දිවයිනේ අති දක්ෂ සංගීතඥයකු වූ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතාය. නර්තන විලාශ, චිත්‍රසේන නර්තන පාසල විසින් මෙහෙයවන ලද අතර, ඇඳුම් සහ වේදිකා සැරසිලි සැලසුම් කොට නිර්මානය කළේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියකු වූ සෝමබන්දු විද්‍යාපති විසින්ය. ගරු ආර්.ප්‍රේමදාස මැතිතුමාගේ අභාවයත් සමගම ගරු ඩි.බී.විජේතුංග මැතිතුමා විසින් ටවර් රඟහල පදනමේ සභාපතීත්වය භාර ගන්නා ලදී. ඉන් පසුව අග්‍රාමාත්‍යවරුන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ගරු රත්නසිරි වික්‍රමනායක මැතිතුමා යන ප්‍රභූන් විසින් ටවර් හෝල් රඟහල පදනමේ සභාපතිත්වය හොබ වන ලදී. මේ අතර අධ්‍යක්ෂ ජනරාල් තනතුර ඒ.ජේ. රණසිංහ මහතා, කේ.එම්. අබේසිංහ මහතා, දිසා වීරපාන මහතා, බෙනඩික් කුමාරගේ මහතා, ඩබ්ලිව්.ඩි.ඩබ්ලිව්. අබේවර්ධන මහතා, රංජිත් ධර්මකීර්ති මහතා, නීතිඥ ඉන්දිකා පී.චන්ද්‍රතිලක මහත්මිය, එන්.ඩබ්.වෙරළුපිටිය මහතා සහ ඩග්ලස් සිරිවර්ධන මහතා යන අය විසින් හොබවන ලදි ඇත.

අවසන් යාවත්කාලීනය : 2016 මාර්තු 09 වෙනි බදාදා, 08:31  

නැවත ඉහලට