Tower Hall Theatre Foundation

Tamil (Sri Lanka)English (United Kingdom)

x ඉවත්වන්න
ඔබ මෙතනයි:  මුල් පිටුව ටවර් නාට්‍ය පාසැල හැදින්විම

හැදින්විම

ආරම්භය

1980 වසරේදී ටවර් හෝල් රඟහල පදනම විසින් ‘නාට්‍යකරණය’ පිළිබඳ වැඩමුළුවක් සංවිධානය කරන ලද අතර ඉන් අනතුරුව ප්‍රථම වතාවට ‘ඉසිපස් රෙක්ස්’ නමින් නාට්‍යයක් නිෂ්පාදනය කරන ලදී. නාට්‍ය හා රංගකලාව පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා වන සය මාසික පාඨමාලාවක් පළමු වතාවට 1985 වසරේදී අරඹන ලදී. කෙසේ වෙතත් මෙම පාඨමාලාව විධිමත් හා ක්‍රමානුකූල ආකාරයෙන් ඉදිරියට ගියේ නැත.

ප්‍රගතිය

නියමිත හා ක්‍රමානුකූල විෂය නිර්දේශයකට අනුව ක්‍රියාත්මක වන නාට්‍යකරණය පිළිබඳ එක් අවුරුදු විධිමත් හා ශාස්ත්‍රීය පාඨමාලාවක් රජයේ අනුග්‍රහය මත 1987 වසරේ අගභාගයේදී ආරම්භ විය. මෙම කාලය තුළ අධ්‍යක්ෂ ජනරාල් ධූරය දරන ලද්දේ රංජිත් ධර්මකීර්ති මහතා විසිනි. නාට්‍යකරණය පිළිබඳ විද්‍යාත්මක හා ප්‍රායෝගික ප්‍රවේශයක් සහිත මෙම පාඨමාලාව, ඉන් පසුව අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් වූ නීතිඥ ඉන්දිකා පී. චන්ද්‍රතිලක මහත්මිය යටතේ තවදුරටත් වර්ධනය විය. පළමුව එක් අවුරුදු කාලයකට සීමා වී තිබුණු මෙම පාඨමාලාව පසුව දෑ අවුරුදු පූර්ණ කාලීන ඩිප්ලෝමා පාඨමාලාවක් ලෙස වැඩි දියුණු කරන ලද අතර එම ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථක ලෙස හදාරන අය හට අදාල ක්ෂේත්‍රය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීමට හා ඊට ඇති පිළිගැනීම ඉහළ දැමීම සඳහා උසස් අධ්‍යාපන ආයතන සමග එක්ව සාකච්ඡා පවත්වන ලදී. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය ඊට ඉතා සාර්ථක ලෙස ප්‍රතිචාර දැක්වීය.

නාට්‍ය හා රංගකලාව පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හා නට්‍ය හා රංග කලාව පිළිබඳ අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාව

ටවර් ‍ හෝල් රඟහල පදනම විසින් පවත්වන නාට්‍ය හා රංග කලාව පිළිබඳ දෑ අවුරුදු උසස් ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථක ලෙස හදාරන සිසුන් නාට්‍ය හා රංග කලාව පිළිබඳ අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාව සඳහා ඇතුලත් කර ගැනීමට හැකිවන පරිදි ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨය සිය කොන්දේසි සංශෝධනය කොට ඇත. නාට්‍ය හා රංග කලාව පිළිබඳ දෑ අවුරුදු උසස් ඩිප්ලෝමා පාඨමාලාව ගෞරව සාමර්ථ සහිතව සමත්වූවන් විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨයට ඇතුළත් කර ගන්නා අතර දෑ අවුරුදු අර්ධකාලීන පාඨමාලාවක් අවසානයේදී ඔවුන්ට නාට්‍ය හා රංග කලාව පිළිබඳ අධ්‍යාපනවේදී උපාධිය පිරිනැමේ. මෙය ශ්‍රී ලංකාවේ එකම විශේෂඥ අධ්‍යයන පාඨමාලාව ලෙස දැක්විය හැකිය.

මෙම පාඨමාලාව සඳහා වන මුල්ම ශිෂ්‍ය කණ්ඩායම 2007/2008 අධ්‍යයන වර්ෂය සඳහා 2007 ජනවාරි මස 12 වන දින බඳවා ගන්නා ලදී. මෙම සිද්ධිය ඓතිහාසික සිද්ධියක් වන්නේ 2007 වර්ෂය ‘ජාතික නාට්‍ය වර්ෂය’ ලෙස ප්‍රකාශයට පත් කර තිබූ හෙයිනි. මෙම ඓතිහාසික අවස්ථාවට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය හා ටවර් හෝල් රඟහල පදනමේ සභාපති ගරු රත්නසිරි වික්‍රමනායක මැතිතුමන්, සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමන් හා මෙම කටයුත්ත සඳහා අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සපයන ලද ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මැතිතුමන් සහභාගි විය.

පාඨමාලාවේ ස්වභාවය හා විෂයය පථය

නාට්‍ය හා රංග කලාව පිළිබඳ දෑ අවුරුදු පූර්ණ කාලීන පාඨමාලාව හදාරන සිසුන් සඳහා දේශන, ප්‍රායෝගික ඉදිරිපත් කිරීම් හා පුහුණු අවස්ථා සැලසුම් කොට සිදු කරන ලද්දේ පිළිගත් විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් හා විශේෂඥ දැනුමක් සහිත දේශකයින්ගෙන් සැදුම්ලත් බාහිර ගුරු මණ්ඩලයක් විසිනි. ‍දේශන හා පුහුණු අවස්ථාවලට අතිරේකව වැඩමුළු හා සාකච්ඡා මෙම පාඨමාලාවේ තවත් වැදගත් අංගයක් විය. විශ්ව විද්‍යාලයක අධ්‍යයන පාඨමාලාවක් ආකාරයට හැඩගැස්වුනද නාට්‍ය හා රංගකලාව ප්‍රායෝගික විෂයයක් හෙයින් සාම්ප්‍රදායික ඉගැන්වීම් රටාවෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගික ආකාරයෙන් සිසුන් හට විෂයය අධ්‍යයනය කිරීමට අවස්ථා ලබා දීම මෙහි කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස දැක්විය හැකිය.

පරිපාලනය හා කළමනාකරණය

සමස්ත පරිපාලන හා කළමනාකරණ කටයුතු ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සභාපතිත්වයෙන් යුතුව නාට්‍ය හා රංග කලා පාසලේ කළමනාකරු විසින් සිදු කරන අතර පරිපාලන කටයුතු භාරව කටයුතු කරනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (වැඩසටහන්) විසිනි. සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබන්නේ කථිකාචාර්යවරුන් විසිනි.

ජාතික නාට්‍ය පාසල

ටවර් හෝල් රඟහල පදනම යටතේ පවත්වා ගෙන යනු ලබන නාට්‍ය හා රංග කලා පාසල ජාතික නාට්‍ය පාසල ලෙස ස්ථාපිත කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. මෙම ආයතනය ස්ථාපිත කිරීමත් සමග ශ්‍රී ලංකාවේ න්‍යායික කලා ක්ෂේත්‍රයට දිගු කලක සිට පැවති අඩුවක් සපිරේ.

අවසන් යාවත්කාලීනය : 2013 ජූලි 18 වෙනි බ්‍රහස්පතින්දා, 02:31  

නැවත ඉහලට